අපි පොඩි කාලේ ක්‍රිකට් සෙල්ලම් කලා. ගොයම් කපල ඉවර උන කාලෙට තරමක් ලොකු ලියද්දක් තෝරගෙන එකේ පිච් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒක හොදට සමතලා කරලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඔය වැඩේම කරනවා එහා පත්තේ වෙල් යායේ කට්ටියත්. අපේ මුල්ම ඉලක්කය තමයි එහා පැත්තෙ වෙල් යායේ ටීම් එක පරද්දන එක.

මට හොදට මතකයි එක වතාවක් අපි මාසයක් විතර හොදට ප්‍රැක්ටිස් කරලා එහා පත්තේ ටීම් එකට ආරාධනා කලා මැච් එකකට. ඉතින් නියමිත දිනයෙදි උදෙන්ම එයාල ආව අපේ වෙල් යායට. උදේ නවයට විතර එහා අනෙක් පැත්තෙ නායකයට අතට අත එහෙම දීල මැච් එක පටන් ගත්ත. ඒක ටෙස්ට් මැච් එකක්. ටෙස්ට් මැච් එකක් කිව්ව්ට ඉතින් වරුවක් අහවර වෙනකොට ඉනිම් දෙකම ක්‍රීඩා කරල ඉවර වෙනව සමහර වෙලාවට :).

ඒ වෙනකොට අපි ඉස්කෝලෙ 6 වසරේ තමයි ඉගෙන ගත්තේ. කොහොමෙන් කොහොමෙන් හරි අපි මැච් එක දිනුවා. දිනල ඉවර වෙලා යනකොට අනෙක් ටීම් එක ටිකක් දුරින් ආපහු යනකොට අපේ කට්ටිය හූ කියන්න පටන් ගත්තා. ඒ අතරේ ඉතින් දන්න නරක වචන එහෙමත් පාවිච්චි කරා කස්ටිය. ඊට පස්සේ එහා පැත්තෙන් චැලෙන්ජ් එකක් ආව “පුලුවනිනම් අපේ පිච් එකට ඇවිල්ල දිනපියව්” කියල. අපි චැලෙන්ජ් එක බාරගත්තා. ඊට සති දෙකකට විතර පස්සේ අපි උදෙන්ම ගියා එහා පැත්තේ වෙල් යායට. ඒක අපේ එකට වඩා ගොඩක් ලොකු එකක්. එදා අපි ඒ මැච් එකෙන් පැරදිලා එනකොට අපිටත් හොද හූ පාරක් වැදුනා. එතකොට ඉතින් අපේ කට්ටිය එක එකාට බැන ගන්නවා අඩුපාඩු කියල.

ඉතින් ටික කාලයක් ඔහොම යනකොට කාටත් වගේ තේරෙන්න ගත්තා මේ දිනනවා පරදිනවා කියන එක බොහොම සාමන්‍ය දෙයක් කියල. ඊට පස්සේ අපි ටිකක් ලොකු වෙලා හත අට වගේ වසර වලට ඇවිල්ලත් ක්‍රීඩා කලා කලින් වගේම.ඉස්සර වගේ හූ කියාගන්න ඒව නොතිබුනාම නෙවෙයි.හැබැයි බහුතරයක් එක එකාව අගය කරන්න පටන් ගත්තා. අපේ ටීම් එකේ මහින්දට වගේ හයේ ඒව ගහන්න බෑ කාටවත්, එහා පැත්තේ බන්දුලගේ මල්ලිගේ ඔපන් එක මාරයි. රත්නායකයගෙ බෝලෙ කොහෙන් යනවද කියල හිතා ගන්නවත් බෑ, ස්ලිප් කෝඩ් එකට ශාන්තයා දාන්නම ඕන, ඔය වගේ දේවල් ගොඩයි.

එක එක්කෙනාගෙ මොකක් හෝ දක්ෂතාවයක් තිබ්බ. අඩු ගානේ ඉක්මනට ගිහිල්ල බෝලේ අහුලලා දෙන්න හරි සමහර අය හරි දක්ෂයි.ඉතින් හැමෝම කන්ඩායමට එක වගේ වටිනව කියන හැගීම අත්දැකීමෙන් අපි තේරුම් ගත්තා.වැදගත්ම දේ තමයි ජය පරාජයට වඩා අපි ක්‍රීඩා කරල ගොඩක් සතුටු උනා. ජය පරාජය කියන දෙකම සාමන්‍ය දේවල් උනාම, විශේෂයෙන්ම පරාජය උන වෙලාවක එකත් ජීවිතයේ තවත් එක දෙයක් පමනක්ය යන දේ ඒ කුඩා කාලෙදිම ළමයෙක්ට තේරුම් ගන්න පුලුවන් වීම ජීවිතයට හොද හයියක්.

මට මේ දේ ලියන්න හිතුනේ අපිත් එක්ක එකට වැඩ කරන සමහර අය යම්කිසි පොඩි දෙයකින් පැරදුනාම, ලැජ්ජාවට පත් උනාම ඒ දේවල් ගොඩාක් ලොකුවට හිතනවා. අධ්‍යාපනය පැත්තෙන් නම් ගොඩක් සහතික තියෙනවා.   ඒත් පොඩි කාලෙදි වගේ ඒ දේවල් හිතේ තියාගෙන ඉන්නවා. කොහොම හරි දිනන්න බලනවා. පරාජය වහගන්න ගොඩාක් දේවල් කරනවා. මොකද ඒක පිලිගන්න බැරිකම.
ගොඩක් වෙලාවට ඒ චරිත ගැන ටිකක් විපරම් කරල බලපුවහම මට නම් හොයා ගන්න පුලුවන් උන එක පොදු දෙයක් තමයි ඒ ළමයි කුඩා කාලෙ ගෙවල් ඇතුලෙම තියාගෙන හදපු ක්‍රීඩා වලට එච්චර යොමු නොවුන,සෙල්ලම් කරපු නැති පිරිසක් කියන එක.

ඉතින් මට එහෙම අය දැක්කම “ඔය පොඩි කාලෙ කරන්න ඕන දේවල් කරපු නැති කෙනෙක්” කියල හිතෙන එක අසාධාරණයිද?

Advertisements