කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි
මටත් නින්ද නෑ සිත නුබ ගැනම ගතු කියයි
හඩන සිත නිවන මල් පැණි නැතිව බැරි හැඩයි

අද මට කුරුණෑගල පැත්තේ පින්කම් ගෙදරක යන්න උනා. අපේ ඥාතියෙක්ගෙ තුන් මාසේ පින්කම. කොළඹ ඉදන් කුරුණෑගලට බස් එකේ යන ගමන් තමයි කාලෙකින් මේ සින්දුව අහන්න ලැබුනේ. මේ ගීතය අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මයා ගායනා කරන මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්… කියන ගීතය. මම දන්නේ නම් නෑ ගීත රචකයා කවුද කියල. කවුරු උනත් ඔහු කියන්නට හදන දේ ගීතයේ පදවලින් අපට පැහැදිලිව පේනවා.

මට නම් මතක් උනේ කාරණා දෙකක්. එකක් තමයි අම්ම කෙනෙක්ගෙ ආදරය තාත්තා කෙනෙක්ට දෙන්න වෙන්නෙ ගොඩක් ලොකු ආයාසයක් දරල.ඒක ඔය පද පේලිවල ගීත රචකයා කියල තියන විදිහ හරිම ලස්සනයි.

දෙවැනි කාරණාව තමයි මේ සිද්දියට මූන දෙන්න උන පවුල් වල ළමයින්ට මොක්ද උනේ කියන දේ. අපේ රටේ බහුතරයක් ජනතාව දරිද්‍රතාවයෙන් පෙලෙනවා. මෙහෙම පවුල් වල තිබ්බ අර්ථික පසුබිමත් එක්ක ගොඩක් වෙලාවට බිරිද රට රස්සාවකට පිටමන් කරල සැමියා තමයි ගෙදර කාරනා කටයුතු බලාගෙන ගෙදර හිටියේ.  අපේ ගම් පළාත් වලත් මෙහෙම අය ඕන තරම් හිටියා.අදත් ඉන්නවා හෙටත් ඉදීවි. බහුතරයක් පවුල් එයාලගෙ ගෙවල් නම් හදා ගත්ත. ඒත් දරුවෝ ටික හදාගන්න නම් බැරි උනා. උන් අයාලේ ගියා. අම්ම කෙනෙක් දරුවෙක්ගෙ ලගින්ම ඉන්න ඕන කාලෙ පිට ඉදලා ඊට පස්සේ ජීවිත කාලෙම දරුව ලගින් හිටියත් වැඩක් වෙන්නේ නෑ. මොකද මෝරපු දඩු නමන්න ගියාම ඒ දඩු කැඩිල යනවනේ.

මීට අවුරුදු දහයකට පහලොවකට කලින් දරුවො පොඩි සන්දියේ අම්මා රට රස්සාවකට ගිය බොහොමයක් පවුල්වල තත්වය ඉතා ඛේදජනකයි. අද ඒ දේ කරන අයට ප්‍රතිපල ලැබෙන්නේ තව ටික කාලයකින්.හැබැයි අපේ රටේ සංවර්ධනයට මේ අම්මලගෙන් වෙන සේවය ඉතා ඉහලයි කියලයි ඉලක්කං එක්ක වැඩ කරන බුද්ධිමත් නිලධාරීන් සහ දේශය පාලනය කරන්නන් කියන්නේ. ඇයි අප්පච්චියේ එසේ මෙසේ සල්ලි කන්දරාවක්ද ඒ අය රටට ගෙනල්ල දෙන්නේ.

මේක වෙන්න ඕන ඔය සංවර්ධනය කියල කියන්නේ..?

Advertisements