මම කුඩා සන්දියේ මේ පොතේ පරිච්චේද කීපයක් කියවල තිබුනා. මෙ ලගදි මම අයෙත් වතාවක් මුලු පොතම කියෙව්වා. The Good Earth කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය තමයි “සාරභූමි” නමින් පරිවතනය කරලා තියෙන්නේ.  පරිවර්තනය කරල තියෙන්නේ නම් ඌරාපොල හේමාලෝක හිමි සහ හේමපාල විජයවර්ධන කියන අයයි.නොබෙල් ත්‍යාගයකට හිමිකම් කියූ මේ පොත ලියල තියෙන්නේ නම් පර්ල් එස් බක් කියන ඇමෙරිකානු ලෙඛිකාවයි.

මිනිසකු සතුව තිබිය යුතු නොසලෙන ධෛර්යය සහ තමා නොදත් දෙයකට වඩා හොදින් දන්නා අදුරන ගොවිතැනට ඇලුම් කර ජීවිතය ජයගන්නා වං ලුං නැමති චීන ගොවියකුගේ සහ ඔහුගේ ඇඹේනිය වන ඕ ලෑං ගේ ජීවිතය දහසක් බාධක කම්කටොලු මැදින් ගලාගෙන යන අයුරු මෙම කථාවෙන් පිලිඹිඹු වෙනවා. 

මිනිසකුගේ අත ගැවසෙන මුදල් හදල් ප්‍රමාණය ඉහල යනවිට ඒ හා සමගාමීව ඔහුගේ අවශ්‍යතා ඉහල යන අයුරු සහ ඔහුගේ සමාජ තත්වය ක්‍රම ක්‍රමයෙන් උසස් යැයි සම්මත තලයකට විකාශනය වන අයුරුත් එම සමාජ තලය දෙස උපහාසය මුසු වූ හා වඩා ප්‍රායෝගික ලෙස කරන අධ්‍යයනකුත් මෙහි අන්තර්ගතයි.

සමස්තයක් ලෙස 1950 දශකයට පෙර චීනයේ පැවති ගොවිතැන කෙන්ද්‍රීය කරගත් චීන ජන ජීවිතය හා නාගරික ජීවිතය ගැන මෙයින් කතා බහට ලක් වෙනවා. නමුත් වඩා වැදගත්ම දෙය නම් රටට බත සපයන ආසියාතික කලාපයේ ගොවි ජනතාව එදා මෙන්ම අදටත් ගත කරනා දුක්ඛිත ජීවිතයෙහි සැලකිය යුතු තරමේ වෙනසක් සිද්ධ වී නොමති බව අපට පසක් වීමයි. එය ඉතා ඛේදජනක තත්වයක්.

අප රටෙහිත් 1950 දශකය පසුවී තවත් දශක හයකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් ඔවුන් පවසනා ඊනියා සංවර්ධනයේ අරුණලු පවා නොලැබූ ගොවි ගම් නියම් ගම් කීයක් නම් තවමත් ඇස් දල්වා බලා සිටිත්ද?

Advertisements