අපායේ එක එක රටවල් වලින් අපාගත උන පව්කාරයෝ ඉන්නවා. මේ අය දාල තියෙන්නේ තමන් ආපු රට අනූව වර්ග කරල වෙන වෙනම වලවල්වල. මේ හැම වලකටම මුර කාරයෙක් ඉන්නවා. හැබයි වෙනස තියෙන්නේ ලංකාවෙන් ආපු අය ඉන්න වලට මුර කාරයෝ නෑ. සමාන්‍යයෙන් මුර කාරයෙක් දන්නේ වලේ ඉන්න කවුරු හරි පැනල යාවි කියලනේ.

ඒත් ඇයි මේ ලංකාවට විතරක් වෙනසක්? හේතුව තමයි කවුරු හරි වලෙන් ගොඩට නැගලා බේරිලා යන්න හැදුවොත් වල ඇතුලෙ ඉන්න කට්ටියම එයාව ආපහු වල ඇතුලට ඇදල දානවා. ඉතින් මෙහෙව් වලකට මුර කාරයෝ මොකටද ?

මේ සතියේ සති අන්ත එක්තරා පුවත් පතක මෙන්න මෙහෙම ලිපියක් තිබුනා. ජනාධිපති තුමාගේ මූලිකත්වයෙන් මේ දිනවල අපේ විදිහට ඉංග්‍රීසි කතාකරන්න වැඩ සටහනක් ක්‍රියත්මක වෙනවා. “Speaking English in Our Way…” .ලංකාවේ විශේෂයෙන්ම ගම්බද පලාත්වල ලමයින්ගෙ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේ දුර්වලකමක් කලක පටන්ම ඇතිවී තිබුන ප්‍රශ්නයක්. මේකට හේතුව හොයන්න එතුමා එක පුද්ගලයෙක්ට භාර දීල.ඔහු ජනාධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහතා. ඔහු තමයි මෙම කතාව කියන්නේ.

“මේ රටේ ඉංග්‍රීසිවලට අයිති කාරයෝ දෙපිරිසක් ඉන්නවා. එක පිරිසක් තමයි බටහිරකරනය වූ ඊට වැදුම් පිදුම් කරන්නා වූ පිරිස, මොවුන්ට ග්‍රාමීය වෙන්න අමාරුයි.ගම ගැන අවබෝධයක් නෑ. නමුත් ඔවුන් භයානක නෑ. දෙවන පිරිස හරිම භයානකයි. ඔවුන් ගමේ ඉපදිලා අගහිග කම් වලින් තෙරපිලා අමාරුවෙන් ඉගෙන ගෙන බටහිරකරණය ආරූඩ කරගත් අයයි.ඔවුන් ඊලගට ඒ තැන් වලට ඉන්න අයට වල කපනවා. එන්න දෙන්නේ නෑ.මේ දෙවැනි කන්ඩායම ඉතා කෲර විදිහට ඉංග්‍රීසි උගන්වන ක්‍රමය පරිපාලනය කරමින් ළමයින්ට ඉංග්‍රීසි එපා කරවන්න කටයුතු යොදනවා.ඒ කන්ඩායමට අයිති පිරිසක් තමයි අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි පරිපාලනය කරන්නේ. මේකට දරදඩු තීරණයක් ගන්න මට සිද්ද උනා.එම පිරිස මම අයින් කලා….”

ඉතිං ඔය හාස්‍යය උදෙසා අපේ මිනිසුන් හදා ගත්ත කතා හිනාවෙලා අහක දාන්න පුලුවන් කතාද? ඒ කතාවල සැබෑ අරුතක් තියෙනවා නේද කියල මට හිතුනා.

Advertisements