පරිඝණකයේ අයන්න ආයන්න කියා දුන් ඔබ ඊටත් වඩා සුපහැදිලිව වඩා ගැඹුරු කරුණු කියා දුන් හැටි අද වගේම මතකයි.

ඔබත් සමග ඇසුරු කල වසර දහයකට ආසන්න කාලය තුල අප උකහා ගත් දේ බෝමයි. ජීවිතය, ලෝකය පිලිබදව අලුත් ඇසකින් බැලූ ඔබ ගැන අප නෙත් දල්වා බලා සිටි හැටි මට තාම මතකයි. ඔබේ මතවාද  බොහෝ විට යමෙකු දෙවරක් සිතන්නට යොමු කල නවමු අදහස් වලින් ගහන උනා. බොහෝ අයගේ හිසටත් උඩින් ගිය නිසාදෝ සමහර දෑ අදටත් තේරුම් ගැනීම බොහෝ දෙනාට ප්‍රශ්නයක්.  

ඔබ කලකින් පහලවන අද්විතීය ගනයේ ගුරුවරයෙක් වූ බව ඔබගෙන් ගුරු හරුකම් ලබාගත් බොහෝ දෙනාගේ පොදු මතයයි.ගුරුකමට ඔබ බොහෝ ඇලුම් කලා. අපි ඔබෙන් ගුරු හරු කම් ලබා ගැන්මට ඊටත් වඩා ඇලුම් කලා. ඒ ඔබගේ සරල සුගම ඉගැන්වීම් රටාව නිසාමයි. කතන්දර මගින් ඉගැන්වීමට ඔබ බොහෝ ප්‍රිය කලා.

ඔබගේ බ්ලොගය http://kumudupinto.wordpress.com ඉතා කෙටි කලකින් බොහෝ අය අතර ඉතා ජනප්‍රිය වූවා. ජූලි 21 වෙනිදායින් පසුව නව ලිපියක් බ්ලොගයේ නොලිය වුනේ මන්දැයි මට මෙන්ම බොහෝ දෙනාට ප්‍රශ්නයක් උනා. එහෙත් ඇසල පුන් පොහෝ දින අප කාටත් වසන් වී ඔබ අවසන් ගමන් ගිය බව තාමත් අදහන්න බැරි තරම්.

මරණය ගැන කාට නම් කෙසේ කිව හැකිද? ස්වභාව දහමේ නීතියට අපි සැවොම යටත් විය යුත්තෝ වෙමු. නමුත් වටිනා මිනිසුන් කෙටි කලකින් මෙලොව හැර යාමත් එක්තරා නීතියක් දැයි සිතෙන තරමට එම අවස්ථා සුලබ මන්දැයි නොහිතා සිතින්නේ කෙලෙසද?. කෙසේ නමුත් ඔබ අපගෙන් වෙන්ව ඇත. අප එය පිලිගත යුතුය.නමුත් ඔබගේ ගුන සුවද බොහෝ කලක් අප අතර රැව් පිලිරැව් දෙනු ඒකාන්තය. 

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ
එක පුන් සදින් දුරු වෙයි ලොව ගන අදුරූ
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරූ

ආදරණීය පින්තු සර්, ඔබට ඔබ පතනා බෝධියකින් නිවී සැනසීමට වාසනාව,ධෛර්යය හා ශක්තිය ලැබේවා…!.

Advertisements