උදෙන්ම බුකු බුකු කියල සද්දයක් ඇවිල්ල වෙනදට වඩා ටිකක් කලින් අවදි උනා.බැලින්නම් වදුරු රංචුවක් වෙනදට වඩා ටිකක් උදෙන්ම ගෙදර පිටි පස්සේ තියෙන වත්තේ පොල් ගස් ටික ආක්‍රමණය කරල. මිනිස්සු අවදි වෙන්න කලින් වැඩේ පටන් ගත්තම අඩු ගානෙ එක කුරුම්බ ගෙඩියක් හරි වැඩිපුර බොන්න පුලුවනිනෙ කියල උන්ටත් හිතිල වෙන්න ඇති. 

මේ වගේ සත්තු අපි එච්චර හිතුවේ නැති උනාට පුදුම වෙහෙසක් ගන්නවා කෑමක් බීමක් හොයාගන්න. කැලෑ එලිවෙන සීග්‍රතාවයට සමානුපාතිකවම වගේ උන්ට උන්ගේ වාසස්ථාන අහිමි වෙලා යනවා. කෑම බීම හොයාගන්නවටත් වඩා දැන් ඉන්ට හිටින්ට හරිහමන් තැනක් හොයාගන්න එකත් උන්ට ලොකු ප්‍රශ්ණයක් වෙලා හමාරයි.

අනේ මංද මිනිස්සු කියන ජාතිය පුදුම විදිහට ආත්මාර්ථකාමී වෙලා කියල මට හැගෙනවා. දිනෙන් දින අපි සතු වටිනා කියන ගුණ ධර්ම හෝදා පාලු වෙලා යනවා. අපේ පරම්පරා කීපයකට පෙර ජීවත් උන අයයි අපියි ගත්තම පැහැදිලි වෙනසක් වෙලා තියෙනවා ගුණ ධර්ම පැත්තෙන් ගත්තොත්.අපි හිතන පතන විදිහ වෙනස් වේගෙන යනවා කියලා අපිට තිබ්බ අනන්‍යතාවය නැති වෙලා යනවා කියල ඇස් පනාපිට පේනවා. වැඩිය ඕනේ නෑ මීට ටික කාලයකට ඉස්සර ගමක් ගත්තම කැලෑ බද පෙදෙසක් වෙනම වෙන් කරල තිබ්බ සත්තුන්ට. “බැද්ද” කියල කිව්වේ අපි. ඔය දර ටිකක් එහෙම හොයා ගන්න බෙහෙතක් හේතක් හොයාගන්න ඕන උනාම මිනිස්සු ඔය බැද්දට රිංගලා එනවා. කවුරුත් දැනගෙන හිටියා ඒකෙ තියෙන වැදගත් කම. ඉතින් මට උදේම මතක් උනා අපේ කුරුළු පාලුව.

කුරුළු පාලුව කිව්වේ කුඹුරු යායේ තිබ්බ එක ලියද්දකට.එකේ තිබ්බ විශේෂත්වය තමයි ඒ ලියද්ද වෙන් කරල තිබ්බේ කුරුල්ලන්ට වීම. ගමේ කීප දෙනෙක් තමන්ගෙ කුඹුරු කරන ගමන් මේ ලියද්දෙත් ගොයම් හදනවා. හැබැයි ගොයම් කපනකොට ඒක අත අරිනවා. අනිත් එක ගොයම් කපල කරල් එකතු කලාට පස්සේ ඔය මග ඇරිල තියෙන කරල් ගොඩක් වෙලාවට එකතු කරන්නේ නෑ. ඒවත් කුරුල්ලන්ට තමයි.

 පේනව නේද අප සතුව පැවති ඒ චින්තනය මොන තරම් වටින එකක්ද කියල.

Advertisements