1932 තරම් ඈත කාල වකවානුවක ලංඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ආයතන ආයතනය පෙර දිග අධ්‍යාපනය සම්බන්ධයෙන් පල කල එක්තරා වාර්තාවක සාරාංශය මේසේ දක්වන්නට කැමැතියි.

ඔවුන් එදා අපව දුටුවේ ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිව බටහිරින් එන සංකල්පනා පිලිගැනීමට සැදී පැහැදී සිටි ජාතින් ලෙසටය. ඔවුනට එදා තිබුනු ප්‍රශ්නය වූයෙත් එයමය. මෙය පල කල මහාචාර්යවරයාගේ අදහසට අනූව මේසේ පෙරදිග වැසියන් තමා සතු දැනුම් පද්ධතීන් අමතක කොට බටහිර දැනුම වැලද ගැනීමෙන් සිදුවන්නේ අවැඩක්ම බවත් පෙරදිග වැසියන් බටහිරයන් හා සමතැන් ගැන්මට නම් කල යුත්තේ ඔවුන් සතු අධ්‍යාපනය සුරකිමින් ලොවට නව සංකල්ප ඉදිරිපත් කිරීම බවත්ය.  තවදුරටත් දක්වා ඇති පරිදි එක් දැනුම් පද්ධතියක් ලොව පුරා පැතිරී සමරූපී වනවාට වඩා විවිධ වූ දැනුම් පද්ධතීන්ගෙන් ලෝකය සන්නද්ධ වීම වඩා උචිත බවයි ඔහුගේ හැගීම වූයේ.

මහාචාර්යවරයාගේ අදහස එසේ වුවත් කල් යත්ම බටහිරයන්ට වුවමනා පරිදි ලෝකය ක්‍රියා කල යුතුය,හැසිරවිය යුතුය යන මානසිකත්වයකින් ඔවුන් ක්‍රියා කරන්නට වූ නිසා අද වන විට බටහිර දැනුම නූතන යටත් විජිතවාදයේ ප්‍රධාන අවිය බවට පත්වී හමාරයි. කරුණු මේසේ දිගින් දිගටම සිදුවුවහොත් තව නොබෝ කලකින්ම පෙර දිග දැනුම් පද්ධතීන් තම අවසන් හුස්ම වාතලයට මුසු කරාවි. අද වනවිට ශ්‍රී ලාංකීය සමාජයෙහි වැඩිපුරම නෙත ගැටෙනුයේ හිස් බටහිර අනුකාරකයින් පිරිසක් පමනයි. එය ඉතා අවාසනාවන්ත තත්වයක්.  

අඩුම වශයෙන් මෙවනි තත්වයක් පවතීය යන්නවත් අවබෝධ කර ගැනීමට තරම්වත් බුද්ධියක් නොමැති වීම ඉතා ඛේදනීය තත්වයක්. කිසිම වග විභාගයකින් තොරව අන්ධයන් රැලක් හා සමානව බටහිරයන් හා ඔවුන් අප මත පැටවූ දැනුම අනුගමනය කිරීම අප වැනි ජාතියකට තරම් නොවෙයි. මෙය වටහාගෙන අප අපේ සීමා මායිම් සොයා ගැනීමට වෙහෙසෙමු. අප සතුව තිබූ දැනට වල් බිහිවී ඇති ශ්‍රේෂ්ඨ සංස්කෘතිය නැවත සොයා ගමු. අපට අවශ්‍ය අනුකාරකයන් පිරිසක් නොව ලෝකයට අපේ යැයි කිවහැකි නව දැනුමක් නිර්මාණය කරනා නිර්මාණාත්මක මිනිසුන් බහුල සමාජයකි.

Advertisements