ටක ටක ටක….සෙල්ලම් කරත්ත විකුනණල ජීවත් වෙන මැදි වියත් ඉක්ම වූ වෙලෙන්දෙක් මාව පසු කරගෙන ගියා. මොහොතකට මගෙ ඇස් ඔහුගේ කරත්ත කෙරෙහි ඇදී ගියා. කරත්ත වර්ග දෙකක් තියෙනවා. මගෙ හිත ගියේ අරුමෝසම් ගතිය වැඩි ලොකු කරත්තෙකට. ඒක දක්කන ගමන් පොඩි රබානකින් සද්දයක් උපද්දන ගමන් තව ලස්සන ඹබර දෙකකුත් දෙපැත්තෙන් යස අගේට කැරකෙනවා.

වෙන මොනවත් නිසා නෙවෙයි මගෙ පොඩ්ඩා මේ වගේ දෙවල් අරන් දුන්නම ටික වෙලාවක් එකත් එක්ක සෙල්ලම් කරල තව ටික වෙලාවකින් ඒකෙ පුලුවන් හැම කෑල්ලක්ම ගලවනවා. ඉතිං මමත් අලුත් අලුත් එව්ව ගිහින් දෙනවා එයාට වැඩේ දිගටම කරගෙන යන්න.

මම වෙලෙන්දාට අතින් සන් කලා. ඔහු මා ලගට ඇවිල්ලා මගෙන් ඇහුවා මොන කරත්තයක්ද ඕන කියලා. මම අර ලස්සන ලොකු කරත්තය පෙන්නුවා. ඔහු ඒක අතට ගන්න ගමන් මගේ අතේ එල්ලිලා කරත්තේ දිහා අමුතු විදිහට බලාගෙන හිටපු පොඩි හාදයා දිහාත් බලලා මෙහෙම කිව්වා.
මෙයාටද කරත්තේ?
මම ඔව් කිව්වා.
එහෙනම් මහත්තයා මෙන්න මේ පොඩි කරත්තේ අරන් දෙන්න. ඒක රුපියල් 80යි. ඔය ලොකු කරත්තෙ තියෙන ඹබර වලින් පොඩි එකාගෙ අත තුවාල වෙන්න පුලුවන්.
ඔය ලොකු කරත්තේ ගාන කීයද?
ඒක මහත්තය රුපියල් 160ක් වෙනවා.  ඒ උනාට මහත්තයා මෙයාට පොඩි එකක් අරන් දෙන්න.

මටත් කාරණය තේරුම් ගියා. මමත් පොඩි කරත්තයක් ගත්තා. ඔහු පොඩ්ඩටත් හිනාවක් පාල බොහොම අහිංසක විදිහට පිට වෙලා ගියා. මම ඔහු දෙස ටිකක් වෙලා බලාගෙන හිටියා. වෙලාව දවල් 1.00 ට විතර ඇති. ඔහු ඒ වෙනකොට විකුනලා තිබ්බෙත් කරත්ත 5ක් විතර. තව කරත්ත 20ක් විතර විකුනන්න තිබ්බා.

කරත්තෙට වඩා වැඩි දෙයක් මට ඔහු දීලා ගිය බව මට පසක් උනා. දාඩිය එහෙන් මෙහෙන් පිහගෙන ටවුම පුරා තව සෙල්ලම් කරත්තයක් විකුනන්ණ  ඇවිදින මේ මනුස්සය ලග ඇත්තටම මනුස්සකමේ සුවද පිරී ඉතිරිලා තිබුනා.
මම ටිකක් වෙලා යනකල් ඔහු දිහාම බලාගෙන හිටියේ මම දුන්න රුපියල් 80 ඔහුට ඇතිද කියන සිතුවිල්ලෙන්.

Advertisements