මම කැමතිම නගරය අනුරාධපුරය. හේතුව මට හරියටම කියන්න බැරි උනත් රජරටට මගෙ හිත අපූරු විදිහට බැදිලා තියෙනව කියල මට දැනෙනවා. ඉතිං මට බුද්ධදාසීව නෙත ගැටුනේත් හිත ගියෙත් ඒ නිසාම වෙන්න ඇති. ගොඩක් දේවල් ගැන නිසි අවබෝධයක් ඇතුව ලියපු පොතක් කියල පොත කියවගෙන යද්දි දැනුනා.පොතේ පසු පිටේ පොත ගැන මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා.

” අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රිද්මයටද පණ පොවන බුද්ධදාසී සුනේත්‍රාගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහා වංශයට අනූව දුර්වල රජෙකු වූ මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට අසුවූ ප්‍රිය පුරුශයෙකි.

කව් ගී පමණක් නොව පැරැණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන නෑසෙන බුද්ධදාසී ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක්ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්ණ හා සසදා බලමින් තම තමන්ද රටද සුවපත් කරගත හැකි මාර්ගයක් එලි පෙහෙලි කරමිනි.”

පොත කියවලා අහවර උනාම ආපසු අනුරාධපුර රාජධානිය පැත්තේ ගිහිල්ල එහේ අවුරුදු කීපයක් ජීවත් වෙලා ආව වගේ දැනුනා. අතීතයේ සිට මේ දක්වා මෙරට ජීවත් වන විවිධ පන්තීන් නියෝජනය කරන්නාවූ  ජනයා හා ඔවුන් වටා නිබදව සැරිසරන දේශපාලනය නම් විෂම චක්‍රයෙහි හරය නොවෙනස්ව  ස්වරූපය පමණක් වෙනස් වෙමින් ගලා බසිනා අයුරු පාඨකයාට ඉදිරිපත් කිරීමට මෙහි කතුවරිය බෝ වෙහෙස ගෙන ඇති සෙයක් දිස් වෙනවා.

අප වටා ඇති සෑම දෙයකම පවතින්නාවු නිස්සාර බව තව තවත්  පසක් වන අතරම නිති පෙරලෙන අට ලෝ දහම හමුවෙහි කම්පා නොවී මිනිසකු ලෙස බෞද්ධයෙකු ලෙස අප ලැබූ මේ ජීවිතයෙහි හරය වටහාගන්නවුන් වහ වහා නිවන් මගම තෝරාගතයුතු බව මේ කතා වස්තුව තවදුරටත් පෙන්වා දෙනවා.
මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥ්ඥාව කරා යොමු කරනා මෙවන් පුස්ථක අද ලොවට ඉතා වටිනා බව නොකියන්නේ කෙලෙසද?

Advertisements