මේ දවස්වල විශ්ව විද්ය්‍යාලවල තියෙන උනුසුම් වාතාවරණයත් එක්ක විශ්ව විද්ය්‍යාල ශිෂ්‍යයා ගැන විද්‍යුත් මාධ්‍ය වල පවා තොර තෝංචියක් නැතිව කථා බහ කරනවා. බැලූ බැල්මට පෙනෙන අරගලවලට වඩා අතිශය සූක්ෂ්ශමව ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රියාදාමයක බුබුලු දැමීමක් හොදින් එදෙස බැලූ විට පහැදිලි කරගත හැකියි. ඒ කෙසේ වෙතත් මා ඇසුරු කරන එක්තරා පිරිසක් අතර ඇති උන සංවාදයක කොටසක් පහත දැක්වෙනවා.

ඔය කැම්පස් වල දගලන බහුතරය මේ සමාජ විද්‍යා පීඨවල කොල්ලෝ කෙල්ලෝ තමයි ඇයි ඉතින් උන්ට වැඩකුත් නෑනෙ කරන්න.
ඔව් අප්පා. ඔය ආර්ට්ස් ෆැකල්ටි වලින් එලියට එන උන්ට රස්සා ඇත්තෙත් නෑ උන්ට ටීචින් වලට වඩා කරන්න දෙයක් ඇත්තෙත් නෑ මොනවට ඔය සබ්ජෙක්ට් තෝරාගන්නවද මංදා.
ඔව් ඉතිං ඔය සිංහල බුද්ධාගම ඉතිහාසය, සමාජ විද්‍යාව ඉගෙන ගෙන මොනව කරන්නද? සාහිත්‍යය කන්නද?

මේ ටික අහගෙන හිටියම මට මතක් උනේ අපේ රටේ ඉන්න සහ හිටිය කළු සුද්දෝ ටිකයි අපිව මේ තරම් පහලට ඇදලා දාන්න පාර කපපු පර සුද්දෝ ටිකයි. ඔතන පර කියල කිව්වේ අපේ කම අදුනන්නේ නැති පිටස්තරයා කියන තෙරුමිනුයි. එහෙම කියන්න හේතු තියෙනවා.

අද වනවිට ලංකාවේ ඇති සමාජ හා ආර්ථික රටාව තුල කලා උපාධිවලට සාපේක්ෂව අනෙකුත් උපාධි සදහා මදක් වැඩි පිලිගැනීමක් තිබෙන බව සත්‍ය කරුණක්. නමුත් එයින් කලා උපාධියෙහි ඇති වටිනාකම තක්සේරු කරන්නට යමෙක් පෙලඹෙන්නේ නම් එය අණුවන ක්‍රියාවක් බවයි මගේ නම් හැගීම.  තමා උගත් දේ වඩා වැදගත් යැයි සැලකීමෙන්ම තමා උගත් විෂයට පරිභාහිරව තමා දන්නා දේ ඉතා අල්ප බවම පැවසිය හැකියි. බටහිර අධ්‍යාපනය ගත් කල ඔවුන් ලබාදෙන අධ්‍යාපනයෙන් අවසානයේදී බිහිවන්නේ ඊනියා විශේෂඥයින් පිරිසක් හෝ ඉතා පටු දැනුම් වපසරියකින් සන්නද්ධ වූවන්ය. ඊනියා විද්‍යාවක් උගත්තවුන් සාහිත්‍යය කන්න දැයි අසන්නේ එබැවිනි.

පෙර අපේ මුතුන් මිත්තන් එදිනෙදා ගොවිතැන් කරන්නට උගත්තෝය, වගාවන්ට වැලදෙන ලෙඩ රෝග අඩු කරගත් හැටි උගත්තොය. එදිනෙදා වැලදෙන ලෙඩ රෝගවලට කලයුතු ගොඩ බෙහෙත් ගැන මනා අවබෝදයකින් යුක්ත වූහ. බණ දහම් උගත්තෝය. ජාතක කථා රග දැක්වූහ. ඇලවෙලි අමුණු තමන්ම ප්‍රතිසංස්කරනය කලහ. ජන ගායනා, කවි විරිදු, හිටිවන කවි වලින් ජීවිතය රසවත් කරගතෝය. තව බොහෝ දෑය.

අපි? එකකට එකක සම්බන්ධය නොදත් දැනුම් රාශියක් උගත්තෙමු. අවසානයෙහි දැනුම හිතේ කෙසේ වෙතත් ලොරියක් පිරෙන්නට ලියූ පොත් වල නම් යස අගේට පිටපත් වී ඇත. එක්කෝ දැනුම ඇත එය යොදාගෙන වැඩක් කිරීමට නොදනිමු.

එහා ගෙදර ලොකු එකා කෘෂිකර්මය පිලිබද ගෞරව උපාධිධාරියෙකි. අක්කර දෙක තුනක හිස් ඉඩම් ඇතත් ඌ අදටත් රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ මාසික රැස්වීමට යයි. කවියක් ගීතයක් රස විදින්නට ඌ නොදනියි. අලුත් නවකථාවක් රැගෙන කියවා ජීවිතයට අලුත් කවුලුවක් අමුනා ගන්නට ඌට කොහොමත් නොහිතෙයි. ගෙදර තියෙන පුස් බයිසිකලයේ රෝදයකට හදිස්සියට පැච් එකක් දා ගන්නට ඌ නොදනියි. ගෙදර ෆියුස් එකක් ගියාම කම්බි දෙකක් මූට්ටු කර තද කරගන්නට බයය. උදැල්ලට මිටක් ගහගන්නට කැඩුන රෙක්කයට ඇන ටිකක් ගහගෙන යලි පාවිච්චියට ගන්නට ඌ නොදනියි.

කෘෂිකර්මය ගැන බොහෝ දේ දනියි. එහෙත් එය ප්‍රායෝගිකව භාවිතා කර රටට වැඩදායී ව්‍යවසායකයෙක් වීමට ඌ නොදනියි. ඉතින් මේ අපිය. බටහිර අධ්‍යාපනයේ අනර්ඝ ප්‍රතිඵලය 🙂

ඉතින් සාහිත්‍යය කෑමටත් එය දැනගෙන හිටිය යුතුය. නැතිනම් ඒ කෑමේද කිසිම රහක් නොදැනෙනු ඇත.

අපි අමතක කල එක දෙයක් ඇත. දනුම ස්වභාවයෙහි පවතින්නේ වෙන් වෙන්ව නොවන බවය. දැනුම එකකට එකක බද්ධ වී පවතින අනේකවිධ සම්බන්ධතාවලින් යුක්ත වූ ජාලයක්ව පවතින බවය.
එකෙකු රසායන විද්‍යාව යැයිද තවෙකෙකු භෞතික විද්‍යාව යැයිද තවකෙකු සාහිත්‍යය යැයිද කියා ගෙන හැර පවසන්නේ මේ එකම ජාලයක එකට ඈදී ඇති දැනුමේ උප කොටස්ය. ඒවා තනි තනිව ගත්කල ඇති අර්ථය සියල්ල එකට ඇති කල ඇති අර්ථයෙන් ඉතා කුඩා බව අප සිහි තබා ගත යුතුය. අප එගෙන ගත යුත්තේ සමස්ථය දැකීමට මිස එක එක උප කොටසක ඇති උසස් හෝ පහත් බව තේරුම් ගැනීමට නොවේ.

අප සතු සංස්කෘතිය පෙර සිටම අපට උගැන්වූයේ සමස්ථය දැකීමට විනා බටහිරයන් සේ කැබලි වලට වෙන් කරගෙන ගොඩ නැගූ කුටුම්භ තුල ජීවත් වීමට නොවේ.

ඉදින් අපට සාහිත්‍යයද ඉතා අගනේය…

Advertisements